DN-17249-13-ADMIRAL-DAYA-SANDAGIRI

අද්මිරාල් දයා සඳගිරි, RSP, VSV, USP, rcds, psc,
විද්‍යාපති (DS), FIMgt(එ.රා.), MNI(ලන්ඩන්), MRIN(ලන්ඩන්),
සාම විනිසුරු (දිවයිනටම)

2015 නොවැම්බර් මස 9වන දින සිට බලපැවැත්වෙන පරිදි අද්මිරාල් දයා සඳගිරි මහතා ශ්‍රීමත්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 4 වන කුලපතිවරයා වශයෙන් ‍පත් කරන ලදී. කොආවි කුලපතිවරයා ලෙස පත් කිරීම සඳහා සලකා බලන ලද පළමු නාවික නිලධාරියා ඔහුය.

අද්මිරාල් දයා සඳගිරි මහතා 1969 ජූලි මස 1වන දින ත්‍රිකුණාමලයෙහි පිහිටි ප්‍රකට නාවික සහ සාගරික විද්‍යා පීඨයට එහි පළමු නාවික ශිෂ්‍ය භට කණ්ඩායම සමගින් එක් වූ අතර 1973 ජූලි 1වන දින උපලුතිනන්වරයෙකු වශයෙන් විධායක අංශයට පත් කරන ලදී. අද්මිරාල් සඳගිරි මහතා ඔහුගේ සුවිශේෂී, විචිත්‍ර සහ නොකැලැල් නාවික වෘත්තිය තුළදී බොහෝ ජයග්‍රහණ අත් කර ගැනීමට සමත් විය. තරුණ නිලධාරියෙකු වශයෙන් ඔහු සිය විශේෂ පුහුණුව 1974 දී ඉන්දියානු නාවික හමුදාව සමගින් ලබා ගත්තේය. නාවික කාලතුවක්කු ශාස්ත්‍රයෙහි ඔහුගේ කැපී පෙනෙන කාර්ය සාධනය උදෙසා ඔහුට නාවික ආඥාපති වෙතින් පළමු නිල ප්‍රශංසාව ලබා ගත හැකි විය.

අද්මිරාල් සඳගිරි මහතා 1984 දී ඉන්දියාවේ ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබා ගත්තේය. එම වසරේදීම ඔහු මැඩ්‍රාස් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ලබා ගත්තේය. 1996 දී එක්සත් රාජධානියේ ලොව ප්‍රකට රාජකීය ආයතනයේ ආරක්ෂක අධ්‍යයන පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා සහභාගි වූ පළමු නාවික නිලධාරියා ඔහු විය. ඔහුව පිළිවෙළින් 1985 සහ 1989 යන වසරවලදී අණ දෙන නිලධාරී සහ කපිතාන් යන තනතුරුවලට උසස් කරන ලදී. 1992 දී ඔහු තරු එකක් වූ කොමදෝරු නිලය ලබා ගත් අතර 1996 දී රියර් අද්මිරාල් විය. 2001 දී ඔහු වයිස් අද්මිරාල් වූ අතර 2005 දී තරු හතරේ අද්මිරාල් ධුරයකට උසස් කරන ලදී.

අද්මිරාල් සඳගිරි මහතා 1966 නොවැම්බර් මස 14වන දින එවකට රාජකීය ලංකා නාවික හමුදාවේ නිත්‍ය බල සේනාවේ පත් කළ යුධ නිලධාරියෙකු වූ අතර නාවික හමුදාවේ ආඥාපතිවරයා වශයෙන් රාජකාරි භාර ගැනීමට වඩාත්ම පළපුරුද්ද සහිත පුද්ගලයා විය. ක්‍රමයෙන් ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් හමුදාවේ ඉහළ නිලයකට පත් විය. වසර 39ක සහ මාස 7ක විශිෂ්ට සේවා කාලයක් සහිතව 2006 ජුනි මස 12වන දින විශ්‍රාම ලැබූ ඔහු, රටේ නාවික ඉතිහාසයෙහි වඩාත්ම දිගු කලක් සේවය කළ පුද්ගලයා ද වේ.

2004 වසරේ සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සඳගිරරි මහතාගේ අප්‍රතිහත වෑයම එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වූ අතිගරු චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පැසසුමට ලක් විය. යුද්ධයේ දී උච්චතම අවස්ථාවේදී සතුරා ඉදිරියේ පළ කළ නිර්භීතභාවය වෙනුවෙන් ඔහුට රණශූර පදක්කම ප්‍රදානය, කරන ලදී.

1947 සැප්තැම්බර් 1වන දින උපත ලැබූ ඔහු, වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයෙන් සහ කෑගල්ලේ කෑගල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඔහු කියවීම, නාවික සංවර්ධන සහ තාක්ෂණ අධ්‍යයනය, සමාජ වැඩ සහ ආගමික කටයුතුවල නියැලීම සඳහා කාලය යොදවයි. අද්මිරාල් සඳගිරි මහතාගේ භාර්යාව පර්ල්ය. ඇය සියලු කටයුතුවලදී ඔහුට ශක්තියක් වෙමින් සහාය ලබා දෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ඇය ඒ සඳහා වසර 25කට වඩා වැඩි කාලයක් මුළුලලේ අගනා සේවයක් ලබා දී ඇත. ඔවුනට යසිරු සහ චතුර නමින් පුතුන් දෙදෙනෙක් වෙති.

අධ්‍යයන ජයග්‍රහණ

  • ඉන්දියාවේ ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධිය ලබාගැනීම.
  • මැඩ්‍රාස් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ලබාගැනීම.
  • එක්සත් රාජධානියේ ලොව ප්‍රකට ආරක්ෂක අධ්‍යයන පිළිබඳ රාජකීය විද්‍යාලයෙහි පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා සහභාගි වීම.
  • ලොව පුරා වෙසෙන විශිෂ්ට කළමනාකරණ සහ නායකත්ව කුසලතා ඇති පුද්ගල පෞරුෂත්ව ඇගයීමට ලක් කරන එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනයෙහි සාමාජිකයෙකු ලෙස තෝරා පත් කර ගැනීම
  • මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම
  • යුධ හමුදා, නාවික සහ සාගරික ක්‍රමෝපායවලට අදාළව කීර්තිමත් ආයතන මගින් පවත්වන සමුළු සහ සම්මන්ත්‍රණ ගණනාවකදී රට, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන ලදී.
  • ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ලොව පිළිගත් හාවඩ් විශ්වවිද්‍යාලයේ ජෝන් එෆ් කෙනඩි රජයේ පාසලෙහි ජාත්‍යන්තර ආරක්ෂක වැඩසටහනෙහි සාමාජිකයන් ඇමතීමේ දුර්ලභ ගෞරවය සහ වරප්‍රසාදය ලැබීම.

පදක්කම් සහ වර්ණනා

  • විශිෂ්ට සේවා විභූෂණ,
  • උත්තම සේවා පදක්කම,
  • ශ්‍රී ලංකා ජනරජයේ සන්නාහ සන්නද්ධ සේවා පදක්කම,
  • ශ්‍රී ලංකා ජනරජයේ සන්නාහ සන්නද්ධ හමුදාවේ දීර්ඝ කාලීව සේවා පදක්කම සහ කුසලානය,
  • ජනාධිපති සමාරම්භක පදක්කම,
  • ශ්‍රී ලංකා නාවික හමුදාවේ 50 වන සංවත්සර පදක්කම සහ කුසලානය,
  • 50 වන නිදහස් සංවත්සර සැමරුම් පදක්කම,
  • උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම සහ කුසලානය,
  • පූර්ණ භූමි පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම
  • රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම

දැරූ තනතුරු

  • අත්‍යවශ්‍ය අවස්ථාවලදී ලංකා නැව් සංස්ථාවෙහි සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙහි නැව්වල සේවය කිරීමෙන් මුහුදු යාත්‍රිකයෙකු ලෙස ජාතියට ඔහුගේ දායකත්වය ලබා දීම.
  • අණ දෙන නිලධාරී සහ නිරීක්ෂණ අණ බලගන අණදෙන නිලධාරී SLNS වික්‍රම.
  • නාවික හමුදා මූලස්ථානයේ නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ.
  • බස්නාහිර නාවික අණ අණ දෙන නිලධාරී.
  • දකුණේ නාවික අණ අණ දෙන නිලධාරී.
  • නැගෙනහිර නාවික අණ අණ දෙන නිලධාරී‍‍.
  • උතුරේ නාවික අණ දෙණ දෙන නිලධාරී.

උසුලන ලද අතිරේක තනතුරු සහ ජාතිය සඳහා දැක්වූ දායකත්වය

  • ශ්‍රී ලංකා නාවික බෞද්ධ සංගමයේ සභාපති ලෙස පත් කරන ලදී.
  • දේවානම්පියතිස්ස රජු විසින් “ජය ශ්‍රී මහා බෝධිය” පිළිගත් යාපනය දඹකොළ පටුනේ ත්‍රෛනිකායික පන්සලක් ඉදි කිරීමේ කටයුතු සඳහා මුල් වී ක්‍රියා කිරීම.
  • 2003 දී තිරියාය ඓතිහාසික පන්සලේ බුදු ගෙය සහ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව සහ නවාතැන්පොළ ඉදි කිරීම
  • ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා මණ්ඩලයේ සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කිරීම.
  • ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ආරක්ෂක සේවාවල ක්‍රීඩා උපදේශනය පිළිබඳ තීරණාත්මක භූමිකාවක කටයුතු කිරීම.
  • ශ්‍රී ලංකා ආරක්ෂක සේවා, CISM ලෙස ප්‍රකට ලෝක හමුදා ක්‍රීඩා ආයතනයට අනුබද්ධ කිරීමේ වරප්‍රසාදය හිමි වීම.
  • ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන ජාතික වොලිබෝල් ක්‍රීඩා සංගමයෙහි ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කිරීම.
  • ජාතික පැසිපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කිරීම.