general sir john kotelawala

1979 දී, ශ්‍රී ලංකා හමුදාව විසින්, තරුණ නිලධාරීන් සඳහා උසස් ශාස්ත්‍රීය සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව ලබා දෙන උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන ලදී.
ඒ අනුව සේවා මෙන්ම විශ්වවිද්‍යාල නිලධාරීන්ගෙන්ද සමන්විත අධ්‍යයන කණ්ඩායමක් ඉන්දියාවට යවන ලද අතර එහිදී ඔවුන් ජාතික ආරක්ෂක ඇකඩමියෙහි සංචාරය කරන ලදී. ආපසු පැමිණි අධ්‍යයන කණ්ඩායම විසින් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ උපාධියක් පිරිනැමීමට ආරක්ෂක අභ්‍යාස ආයතනයක් පිහිටුවීමේ යෝජනාව කරන ලදී.
1980 දී, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල CH, KBE, LLD මහතා යෝජිත හමුදා අභ්‍යාස ආයතනය සඳහා සුදුසු ස්ථානයක අවශ්‍යතාව වටහා ගනිමින්, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජේ.ඊ.ඩී. පෙරේරා, VSV, D.Litt. (Honoris Causa), FIBM මහතාට, කඳවලවත්ත එනම් චංචල සහ නිශ්චල දේපළ සහිත අක්කර 48ක් වූ ඉඩම ආරක්ෂක අභ්‍යාස ආයතනය පිහිටුවීම සඳහා රජයට පරිත්‍යාග කිරීමේ අදහස දැනුම් දෙන ලදී.
මෙම ප්‍රදානය සතුටින් භාර ගන්නා ලද අතර අභ්‍යාස ආයතනය පිහිටුවීමේ මූලික පියවර ගන්නා ලදී. මේ වන විට ශ්‍රිමත් ජෝන් මහතාව ජෙනරාල් නිලයට උසස් කරන ලද අතර, 1980 ඔක්තෝබර් 02 වන දින ඔහු මිය යාමෙන් පසුව ඔහුගේ නමින් අභ්‍යාස ආයතනය නම් කර ඔහුට ගෞරව දැක්වීමට රජය හා සේවා තීරණය කරන ලදී. එබැවින් එය ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතනය ලෙස නම් කරන ලදී.
අභ්‍යාස ආයතනය 1980 ඔක්තෝබර් 11, හමුදා දිනයේදී කඳවලවත්තේ පැවති උත්සවයකදී නිල වශයෙන් විවෘත කරන ලදී. එවකට අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් එම සිදුවීම සැමරීමට සමරු ඵලකයක් විවෘත කරන ලදී. කෙසේ වෙතත් අභ්‍යාස ආයතනයට එහි අධ්‍යයන වැඩසටහන් කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ සම්පත් නොතිබිණි.
1981 පෙබරවාරි මාසයේදී, සේවා කැඩෙට් නිලධාරීන්ට පිළිවෙළින් මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලවල ඉංජිනේරු සහ භෞතික විද්‍යා පාඨමාලා හැදෑරීමට තාවකාලික සැලසුමක් ඇති කරන ලදී.
අභ්‍යාස ආයතනයෙහි පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු පනතක් වන 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල අභ්‍යාස ආයතන පනත සහ පසු සංශෝධන ගණනාවක් බලපාන ලදී. අභ්‍යාස ආයතනයේ නම ද පසුකාලීනව ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතනය ලෙස වෙනස් කරන ලදී.
1986 දී කොආවි කළමනාකරණ මණ්ඩලය විසින් අභ්‍යාස ආයතනය විශ්වවිද්‍යාලයක තත්ත්වයට උසස් කිරීමට තීරණය කරන ලද අතර, උපාධි වැඩසටහන් සාර්ථකව සම්පූර්ණ කළ කැඩෙට් නිලධාරීන්ට ආරක්ෂක අධ්‍යයන උපාධිය ලබා දෙන ලදී. ඒ අනුව 1988 අංක 27 දරන පනතින් අභ්‍යාස ආයතනය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලද අතර එහි පළමු උපාධි ප්‍රදානෝත්සවය 1991 දී පවත්වන ලදී.