ආරක්‍ෂක ලේකම්තුමාගේ නිරීක්‍ෂණ චාරිකාව

ආරක්‍ෂක ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මැතිතුමා සිය ධුරයෙහි රාජකාරී ඇරඹීමෙන් අනතුරුව ප්‍රථම වරට 2017 සැප්තැම්බර් මස 15 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීය.

එදින පෙරවරු 9.00 ට වේරහැර විශ්වවිද්‍යාලීය රෝහල් සංකීර්ණ ප්‍රවේශයට පැමිණි ආරක්‍ෂක ලේකම්තුමා නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ මැතිතුමා විසින් පිළිගනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එතුමා වෙනුවෙන් සම්මාන මුරයක් පැවැත්වීය.

ඉන් අනතුරුව ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය රෝහල් සංකීර්ණය අභියසදී උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මැතිතුමා හා රෝහල් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ආරක්‍ෂක ලේකම්තුමන් උණුසුම්ව පිළිගනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව එතුමා වෙනුවෙන් සම්මාන මුරයක්ද පැවැත්වීය.

මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී විශ්වවිද්‍යාලයීය රෝහල් සංකල්පය, එම සංකීර්ණය සහ එහි පහසුකම් පිළිබඳව ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කරනු ලැබීය. රෝහලේ ප්‍රගතිය හා ප්‍රවර්ධනය පිළිබඳ ආරක්‍ෂක ලේකම්තුමාගේ අවධානයද යොමු කෙරිණි.

අනතුරුව සම සෞඛ්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ආරක්‍ෂක ලේකම්තුමා එක් විය.

ඉන් අනතුරුව පෙරවරු 11.20ට පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය නිරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක ලේකම්තුමා එක් විය. පීඨාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම්තුමා පිළිගැනීමෙන් අනතුරුව, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ අධ්‍යයන පාඨමාලාවන් හා පහසුකම් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබීය.

අනතුරුව ගගන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ ආරක්‍ෂක ලේකම්තුමා එහි ගගන ඉංජිනේරු විද්‍යාගාරය නැරඹීමට එක් විය. අංශ ප්‍රධානී විසින්, ආකෘති හා උපකරණ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව, වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල වෙත කැඳවාගෙන එනු ලැබූ ආරක්‍ෂක ලේකම්තුමන් නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත ආරියරත්න මැතිතුමා විසින් පිළිගනු ලැබීය. එම පරිශ්‍රයේදී වෛද්‍ය පීඨය, පරිගණක පීඨය හා නීති පීඨය ආරක්‍ෂක ලේකම්තුමාගේ නිරීක්‍ෂණය සඳහා යොමු විය.

පීඨාධිපතිවරුන් හා අංශ ප්‍රධානීවරුන් අදාළ පීඨයන්හි අධ්‍යයන පාඨමාලාවන් හා පහසුකම් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබීය.

පස්වරු 1.00ට සනාතන මන්දිරය වෙත කැඳවාගෙන පැමිණි ආරක්‍ෂක ලේකම්තුමන් විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ සභිකයන් විසින් ඉතා උණුසුම්ව පිළිගනු ලැබීය. විශ්වවිද්‍යාලයීය වැඩබලන ලේඛකාධිකාරී කපිතාන් බිඑම්කේකේ බස්නායක මහතා විසින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය හා එහි වැදගත් කරුණු ආරක්‍ෂක ලේකම්තුමාගේ අවධානය සඳහා යොමු කරනු ලැබීය. අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමාගේ සංචාරය ස්මරණය කරමින් වටිනා සමරු තිළිණයක්ද විශ්වවිද්‍යාලයීය උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මැතිතුමා විසින් පිරිනමනු ලැබීය.

එදින මධ්‍යයනයෙහි එළඹී සුභ මුර්තියෙන් මහල් 06 කින් යුත් සේවා ශිෂ්‍ය භට නේවාසිකාගාරය ආරක්‍ෂක ලේකම්තුමාගේ සුරතින් විවෘත විය.

නිදහස් ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍ය දිවංගත ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවලයන්ගේ චරිතය හා බැඳුණු කෞතුකමය වටිනාකමකින් යුත් ඡායාරූප, පෞද්ගලිකව පරිහරණය කළ ගෘහ උපකරණ, දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලද සමරු තිළිණ, කොතලාවල චරිතය හා බැඳුණු පොත පත ඇතුළු බොහෝ දෑ සපිරි කඳවල වලව්වේ ස්ථාපිත විශ්වවිද්‍යාලයීය කෞතුකාගාරය නැරඹීමට ආරක්‍ෂක ලේකම්තුමා කැඳවාගෙන එනු ලැබීය.

ඉන් ඉක්බිතිව, අතිශය රමණීය හරිත වර්ණයෙන් සුසැදි කඳවල වැව් තාවුල්ලේ පිහිටි සමාජ ශාලාව නැරඹීමේ නිරීක්‍ෂණ චාරිකාවකටද ආරක්‍ෂක ලේකම්තුමා සහභාගී විය.

දිවා භෝජනයෙන් අනතුරුව, විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතෙහි අත්සන් තැබීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිල සංචාරය නිමාවට පත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *